සෞඛ්‍ය අනතුරු ඇඟවීම

​ශ්‍රී ලංකාවෙන් නැවතත් සරම්ප රෝගීන් හමුවේ: දරුවන්ගේ එන්නත්කරණය සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍යයි

​ශ්‍රී ලංකාවෙන් නැවතත් සරම්ප රෝගීන් හමුවේ: දරුවන්ගේ එන්නත්කරණය සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍යයි
වෛද්‍ය නිර්දේශය: මෙහි ඇති තොරතුරු සාමාන්‍ය සෞඛ්‍ය දැනුම සඳහා පමණි. ඕනෑම වෛද්‍ය තීරණයක් ගැනීමට පෙර සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවෙන්න.

​ශ්‍රී ලංකාවෙන් සරම්ප රෝගය තුරන් කර ඇති බවට 2019 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික කළද, වසරකට වැඩි කාලයකට පසුව කොළඹ දිස්ත්‍රික්කයෙන් යළිත් සරම්ප රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය බලධාරීන් මහජනතාවට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

වර්තමාන තත්ත්වය

​සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසන පරිදි, කොළඹ ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනෙකුට රෝගය වැළඳී ඇති බව තහවුරු වී ඇත. මින් එක් දරුවෙකුට රෝගය වැළඳී ඇත්තේ විදේශයක සිට පැමිණි අයෙකුගෙන් බව (Imported case) ඉන්දියාවේ සිදුකළ රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. 2025 ජනවාරි මාසයෙන් පසු මෙරටින් සරම්ප රෝගීන් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

සරම්ප එන්නත්කරණයේ වැදගත්කම

​සරම්ප යනු ඉතා වේගයෙන් පැතිරෙන වෛරස් රෝගයක් වුවද, නිසි එන්නත්කරණය මගින් එය සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකිය. ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අනුව සරම්ප එන්නත (MMR) ලබාදිය යුතු කාලසටහන මෙසේය:

  • පළමු මාත්‍රාව: දරුවාට මාස 9 සම්පූර්ණ වූ විට.
  • දෙවන මාත්‍රාව: දරුවාට අවුරුදු 3 සම්පූර්ණ වූ විට.

​සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ මෙම මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් රෝගයට එරෙහිව 97% කට වඩා වැඩි ආරක්ෂාවක් ලැබෙන බවයි. යම් හෙයකින් ඔබේ දරුවාට මෙම මාත්‍රාවන් මගහැරී ඇත්නම්, වහාම පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලය වෙත ගොස් එය සම්පූර්ණ කර ගැනීමට පියවර ගන්න.

සරම්ප රෝගයේ බරපතලකම

​සරම්ප යනු හුදෙක් තාවකාලික උණක් හෝ පලු දැමීමක් පමණක් නොවේ. නිසි ප්‍රතිශක්තියක් නොමැති දරුවෙකුට රෝගය වැළඳුණු විට:

  • ​ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දිගුකාලීනව දුර්වල වීම.
  • ​නියුමෝනියාව (පෙනහළු ආසාදන).
  • ​කන් ආසාදන සහ දෘෂ්ටි ආබාධ.
  • ​මස්තිෂ්ක ප්‍රදාහය (මොළයේ ආසාදන) වැනි මාරාන්තික සංකූලතා ඇති විය හැක.

​විශේෂයෙන්ම SSPE (Subacute Sclerosing Panencephalitis) වැනි දුර්ලභ නමුත් මාරාන්තික මොළයේ රෝග තත්ත්වයන් සරම්ප වැළඳී වසර කිහිපයකට පසුව වුවද මතුවීමේ අවදානමක් පවතින බව වෛද්‍යවරු අනතුරු අඟවති.

දෙමාපියන් කළ යුත්තේ කුමක්ද?

  1. ​දරුවාගේ සායන පොත පරීක්ෂා කර එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බව තහවුරු කරගන්න.
  2. ​දරුවාට උණ, කැස්ස, හොටු දියර ගැලීම සහ ඇස් රතු වීම සමඟ ශරීරයේ රතු ලප (Rash) මතු වේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.
  3. ​රෝග ලක්ෂණ ඇත්නම් දරුවා පාසල් හෝ දහම් පාසල් යැවීමෙන් වළකින්න.

​ඔබේ දරුවා එන්නත් කිරීමෙන් රෝගය පැතිරීම පාලනය කිරීමටත්, ශ්‍රී ලංකාව යළිත් සරම්ප රහිත රටක් බවට පත් කිරීමටත් දායක වන්න.

Dr. Seneth Gajasinghe