වකුගඩු රෝගීන්ට අස්වැසිල්ලක්: නිවසේදීම ඩයලසීස් කරගත හැකි විශේෂිත බෑග් දැන් ලංකාවේදීම නිෂ්පාදනය කෙරේ

වකුගඩු රෝගීන්ට අස්වැසිල්ලක්: නිවසේදීම ඩයලසීස් කරගත හැකි විශේෂිත බෑග් දැන් ලංකාවේදීම නිෂ්පාදනය කෙරේ
Medical Disclaimer: This article is for general information only. Always consult a qualified healthcare professional before making any health or medical decisions.

මෙරට වකුගඩු රෝගී ප්‍රතිකාර ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදු කරමින්, රෝහල් ගත නොවී නිවසේදීම ඩයලසීස් (Dialysis) ප්‍රතිකාරය සිදු කරගත හැකි විශේෂිත දියර බෑග් මෙරටදී නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබේ. මහනුවර, පල්ලෙකැලේ ආයෝජන කලාපයේ පිහිටි Kelun LifeScience (Pvt) Ltd ආයතනය විසින් මෙම ඓතිහාසික පියවර ගෙන ඇත.

මොකක්ද මේ CAPD තාක්ෂණය?

​සාමාන්‍යයෙන් වකුගඩු අකර්මණ්‍ය වූ රෝගියෙකු සතියකට දෙතුන් වතාවක් රෝහලට ගොස් රුධිරය පිරිසිදු කරගත යුතුය (Haemodialysis). නමුත් මෙම නව නිෂ්පාදනය හරහා හඳුන්වා දෙන්නේ Continuous Ambulatory Peritoneal Dialysis (CAPD) හෙවත් 'සන්තතික ආසාරණ උදර කාන්දුකරණය' නම් ක්‍රමයයි.

​මෙහිදී රෝගියාගේ උදර කුහරය වෙත ඇතුළු කරන කුඩා නලයක් මාර්ගයෙන් මෙම විශේෂිත දියරය ශරීරගත කර රුධිරය පිරිසිදු කිරීම සිදු කරයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ රෝගියාට තමාගේ දෛනික වැඩකටයුතු කරමින් සිටියදීම, නිවසේ සිටම මෙය ඉතා පහසුවෙන් සිදු කරගත හැකි වීමයි.

රෝගීන්ට සහ රටට ලැබෙන වාසි

​මෙම දේශීය නිෂ්පාදනය ආරම්භ කිරීමත් සමඟ ක්ෂේත්‍ර ගණනාවක වාසි අත්වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි:

  • රෝගී පීඩාව අවම වීම: දුර බැහැර ප්‍රදේශවල සිටින රෝගීන්ට සතියකට කිහිප වතාවක් රෝහල් වෙත පැමිණීමට වැයවන කාලය සහ පිරිවැය ඉතිරි වේ.
  • විදේශ විනිමය ඉතිරි කිරීම: මීට පෙර මෙම බෑග් 100%ක්ම මෙරටට ආනයනය කරන ලදී. දැන් එය ලංකාව තුළම නිපදවීම නිසා වාර්ෂිකව රුපියල් කෝටි ගණනක විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ ඉතිරි වේ.
  • උසස් ප්‍රමිතිය: මෙම කර්මාන්ත ශාලාව යුරෝපා සංගමයේ EU-GMP තත්ත්ව සහතිකය ලබා ඇති අතර, එය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදන සිදු කරන බවට සහතිකයක් ලබා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීම

​පසුගියදා මෙම නිෂ්පාදනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ, රජයේ රෝහල් පද්ධතිය හරහා මෙම පහසුකම වකුගඩු රෝගීන් වෙත කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවයි. විශේෂයෙන්ම උතුරු මැද පළාත ඇතුළු වකුගඩු රෝගය බහුල ප්‍රදේශවල ජනතාවට මෙය විශාල සහනයක් වනු ඇත.

Dr. Seneth Gajasinghe